CRICKET NEWS

මහේල, සංගක්කාරලා ලංකාවට ගෙනල්ලා තියෙන කීර්තිනාමය මිල කරන්න බැහැ

තමන්ගේ පටු වාසි අරමුණු වෙනුවෙන් ක්‍රීඩාව සහ ක්‍රිඩකයන් සමඟ දේශපාලනය කරන්න එපා කියා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

තමන්ගේ නොහැකියාව සහ රටේ ප්‍රශ්න වහන්න ක්‍රීඩාව දේශපාලනයෙන් යට කරන්න හදන උත්සාහයට විරුද්ධව පාට පක්ෂ බේදයකින් තොරව සියලු දෙනා එක්විය යුතු බවයි ඔහු කියා සිටියේ.

ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේග කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා,

“ලංකාවට විශාල කීර්තියක් අත්කරදුන් ක්‍රිඩකයන්ට කරන්නාවූ මේ පලිගැනීම පිළිබඳ අපි කණගාටුවෙනවා. 2011 වසරේ සිදුවිමක් ඇයි මේ අද එකපාරටම නිර්මාණය වුණේ.

මිට මාසයකට දෙකකට පෙර හෝමාගම ක්‍රිඩාංගණය ගැන ජනතා විරෝධයක් ඇතිවුනා. කොරෝනා වසංගතය ඇතිවෙලා රටේ ආර්ථිකය කඩා වැටිලා තිබෙන අවස්ථාවක මේක දැනට සුදුසු නැහැ කියලා ක්‍රිකට් ක්‍රීඩාවේ හිටපු දක්ෂයෝ කිව්වා. මේ ගැන අගමැතිතුමන් එක්ක තිබිච්ච සාකච්ඡාවේදී මහේල, සංගක්කාර, අරවින්ද තුන්දෙනාම කතා කරලා විරෝධය පළකලා.

දේශපාලන පලිගැනීම උච්චතම තැන තියෙන කණ්ඩායමක් තමයි අද රට පාලනය කරන්නේ කියලා මේ සිද්ධියෙන් හොදටම පැහැදිලි වෙනවා.

මහින්දානන්දලා බැලුවා ඡන්දෙ කාලේ මේ ක්‍රිඩකයන්ට ගහන එක තමයි හොදම වැඬේ කියලා. දැන් ඒක ආණ්ඩුවට පාරාවලලලක් වෙලා තියෙනවා.

මහේල, සංගක්කාරලා ලංකාවට ගෙනල්ලා තියෙන කීර්තිනාමය මිල කරන්න බැහැ. මහේල සංගා කියන්නේ බ්‍රෑන්ඞ් එකක්. මිනිහෙක් අවංකව කතාකරහම ඒ මිනිහව විනාශ කරන එක මේ ලංකාවේ සංස්කෘතියයි.

ක්‍රීඩකයන්ට අත තියන්න එපා, ක්‍රීඩාව, ක්‍රිඩකයන් එක්ක දේශපාලනය කරන්න එපා කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මෙහෙම ගියොත් අපිට ලොකු අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ක්‍රීඩකයෝ ක්‍රිඩා කරන්න බය වෙනවා. දෙමාපියන් දරුවන්ට ක්‍රිඩා කරන්න දෙන්නේ නැහැ.

දූෂණය සම්බන්ධයෙන් අපි නීතීයක් හදලා තියෙනවා. බොරු චෝදනා කරන්නේ නැතුව රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. අපේ කාලයේ බුකීකරුවන්, දූෂිතයන් ක්‍රිඩාවෙන් ඉවත්කළා.

දේශපාලනය අමතක කරලා අපි සියලු දෙනා මෙයට විරුද්ධව නැගී සිටිය යුතුයි. මම නාමල් රාජපක්ෂ ඇතුලු ඒ කණ්ඩායමටත් ආරාධනා කරනවා ක්‍රීඩකයන් ආරක්ෂා කරගන්න ඉස්සරහට එන්න කියලා”

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button